Wednesday, September 21, 2011

මම ආදරෙයි උඹට මැණිකෙලා නැති වුණාට......

රතු පාට,නිල් පාට
කහ පාට මල් පිපෙන
හරි අපූරුවට මග දිගට...
පුන්චි දිය පාරකුත්
ඉද හිටල නෙත ගැටෙන
සිහිල් සුළං රැළි
හැමවිටම ගත වදින....
කෝච්චි පාර උඩරට
හරි ලස්සනයි උඹ
මැණිකෙලා පෙම් කරන

පස් කණ්ඩියට පාළු මකන්න
ඉඳ හිටල බෝවිටියා මලක් පිපෙන...
කාලෙකට විතරක්
කූඩලු යායෙන් හැඩවෙන
දෙපැත්තෙ කාණුවෙ පල් ගඳ
මුහුවෙච්ච හුළගක් හමන...
පහතරට කෝච්චි පාර
මම තාමත් ආදරේ උඹට

ඉස්සර උදේ හවස
යනකොට උඹව පහුකරගෙන
සිහින මැව්ව මම
පහුකරන හැම සිල්පර කොටයක් ගානෙම
ඉතින් ඒ හීන වල තරමටම
මම ආදරෙයි උඹට
මැණිකෙලා නැති වුණාට......